Thursday 14th of May 2026

English Tamil
Advertiesment


අප රැවටුණා ද..? නැත හොත් අපව රැවැට්ටුවා ද..? 


2026-05-14 1514

 

(සුදත් චන්ද්‍රසේරකර)

 

ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප අතර බොහෝ දෙනා අද ලැජ්ජාවටත්, අසරණත්වයටත් පත්ව සිටී. ඒ වෙනත් කිසිවක් නිසා නොවෙයි. දේශපාලඥයන් විසින් වසර ගණනාවක් පුරා අපට විකිණූ බොරු පොරොන්දු, පච සහ මනෝවිද්‍යාත්මක රැවටීම් නිසා අප මනස කනස්සල්ලට පත් වී ඇත.

පොරොන්දු දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් අවශ්‍ය වන මොහොතක, තවමත් බොරු පොරොන්දු වලට රැවටෙන ජනතාවක් බවට පත්ව සිටීම සමාජය සම්පූර්ණයෙන්ම ලැජ්ජාවට පත් කරන කරුණකි.

මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගත් වත්මන් දේශපාලන නායකයන් බොහෝ දෙනා ජනප්‍රියවාදය පදනම් කරගෙන බොරු පොරොන්දු, පච, සටන් පාඨ සහ මනස අවුල් කරන ප්‍රචාරණ මගින් ජනතාවගේ මතය හැරවීමට උත්සාහ කරති. රටේ සැබෑ ආර්ථික හා සමාජීය ගැටලු විසඳීම වෙනුවට, ජනතාවගේ මනස ඇවිස්සීමෙන් බලය ලබා ගැනීම සහ රඳවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.

අප පුරවැසියන් ලෙස මෙම දේශපාලන උගුලෙන් ගැලවී, රටේ සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට හැකි ප්‍රතිපත්තිමය දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍යය. රාජ්‍ය පරිපාලනය යනු සටන් පාඨවලින් හෝ ජනප්‍රිය පච වලින් පවත්වාගෙන යා හැකි දෙයක් නොවන බව ජනතාවටත් පාලකයින්ටත් තේරුම් ගත හැක්කේ ජනතාව ආර්ථිකව පිඩාවට පත්වන විටය. කෙටි කාලීන විසඳුම්, මාධ්‍ය ප්‍රචාරණවාදය සහ ජනතාව රවටන කතා මගින් රට ගොඩගත නොහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ දිගුකාලීන, සැලසුම්ගත ජාතික ප්‍රතිපත්තියකි.

අසරණ වූ ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුත්තේ විපක්ෂයයි. නමුත් අවාසනාවකට මෙන්, අද රටේ දුර්වල විපක්ෂයක් පවතින අතර, ඔවුන්ගේ ප්‍රධාන උත්සාහය ආණ්ඩුවේ වැරදි මත පදනම්ව බලය ලබා ගැනීම පමණක් බව පෙනේ. විපක්ෂයක වගකීම වන්නේ ආණ්ඩුවට වඩා හොඳ විකල්ප ප්‍රතිපත්ති ජනතාව ඉදිරියේ තැබීමයි. නමුත් එවන් දැක්මක් සහිත විපක්ෂයක් අද අපට නොපෙනේ.

අප දැන් අඵතින් සිතීමට පුරුදු විය යුතුය. අනාගත දේශපාලන ගමන්මග තීරණය කළ යුත්තේ වත්මන් දේශපාලන රාමුවෙන් ඉවතට ගොස්, රටටත් ජනතාවටත් කැපවිය හැකි “දැනුම සහ දැක්ම” ඇති නව පරපුරක නායකත්වයක් බිහිවීමට අවකාශ සලසන ආකාරයෙන්ය. මහා බ්‍රිතාන්‍යයේ මෑතකදී පැවති ප්‍රාදේශීය මැතිවරණවලදී පැරණි සම්ප්‍රදායික පක්ෂ පරාජය කරමින් නව පක්ෂයක් ඉදිරියට පැමිණීම, ලෝක දේශපාලනයේ නව ප්‍රවණතාවක් බවට පත්ව ඇත. එය පෙන්වා දෙන්නේ ජනතාව නව මගක්, නව ප්‍රතිපත්තිමය දේශපාලනයක් බලාපොරොත්තු වන බවයි.

එම නිසා අප නව පුරවැසින් ලෙස ක්‍රියා කළ යුත්තේ වත්මන් දේශපාලන ක්‍රමයට කොටුවී නොවී, නිදහස් මනසකින් තීරණ ගන්නා ඡන්දදායකයින් බවට පත්වීමයි. අපේ අභියෝගය දැන් මෙයයි.අප ඉදිරියටත් බොරු පචකාරයින්ට රැවටෙනවාද? නැතහොත් කිසිවෙකුටත් රැවටිය නොහැකි බුද්ධිමත් පුරවැසියන් බවට පත්වනවාද..? මෙය හොඳින් හඳුනාගෙන ක්‍රියා කිරීම අපේ රටේ අනාගතය තීරණය කරනු ඇත.

(සුදත් චන්ද්‍රසේකර ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයෙකි. ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ අතර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළේය.) 


 

Advertiesment